Pages

Tuesday, July 31, 2012

~~සරණක් අවැසි සිතකට පිහිටක් වෙමුද එක්වී~~~

ආදරණීය සොඳුරු සිත් ඇති මිනිසුනේ..!!! 
මේ සහෘද ආමන්ත්‍රණය ඔබේ සංවේදී සිතටයි.......!!!!! 


අනුන්ගේ දුක කඳුලට සංවේදී වන්නට තරම් තෙත් බවින් පිරි සිතක් හිමි ඔබව මං අමතන්න හිතුවේ ඇත්තටම මේ කඳුළු කථාව මගේ නෙත් දෙකත් කඳුලින් තෙත් කරපු නිසාමයි.......


මං කියන්න සැරසෙන මේ කථාවේ කථා නායකයා වයස අවු: 12ක පුංචි දරුවෙක්.ඒ දරුවගේ නම ධනංජය කුමාර මුණසිංහ දිනපතා පුවත්පත් වල, සති අන්ත පුවත්පත් පිටු පුරවාන අපි දකින දුක් කඳුළු කථා ගොන්නෙන් සැඟවුණු මේ දුක්බර කථාව අපේ ඇස් මානයට ගෙනෙන්නටවත් ඒ පුංචි දරු පැටියාට ශක්තියක් නෑ ඇත්තමයි ඒ පොඩි දරු පැටියා උපන් දා සිටම ඔත්පලයි. ඔහුගේ ලෝකය වැතිරී සිටින පුංචි පැදුරු කබලටම සීමා වෙලා. කන්න බොන්න පුළුවන් කමක් ලැබුණු දවසේ ඉඳන් ඔහුගේ ආහාරය වුණේ මාරි බිස්කට් කෑල්ලකුයි කෙහෙල් ගෙඩියකුයි විතරයි. ඔහු තුන් වේලටම ගන්නේ මේ පුංචි ආහාරය විතරමයි.......
දොස්තර වරුන්ගේ අදහස හැටියට මේ දරුවාට ජීවත් වන්නට ඇත්තේ ඔහුට අවුරුදු 15ක් තරම් කාලයක් වනකම් පමණයි....!!!!!!!!!


කිව්වට විශ්වාස කරන්න හිතවතුනි…!!!!!
මේ කථාවේ දුක්බරම කොටස ඒක නෙවෙයි. මේ පුංචි දරුවගෙ පියාට උගුරේ පිළිකාවක්. ඔහුගේ පණ නල ගැටගහ ගන්න ඔහුට ගන්න පුළුවන් එකම ආහාරය සුප් කෝප්පයක් විතරයි.....

මේ පවුලේ යම් තරමකට හරි වැඩක් පලක් කරගන්න පුළුවන් මානසික ශක්තියක් තියෙන්නේ මේ දරුවගෙ මවුට විතරයි. ඇය පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක රෝගීන් ඇතුළු කරන සේවිකාවක් විදියට සේවය කරමින් මේ පවුල පෝෂණය කරනවා. ඒත් මේ ළඟකදි ඉඳන් මොකක්දෝ අවාසනාවකට ඇයගේ අතක පණ නැතිවීමක් නිසා දැන් ඒකටත් ප්‍රතිකාර ගන්න වෙලා........

ඇත්තටම මේ කථාව මං ඇහුවෙ මගේ දයාබර මිතුරිය "සුමුදු රාජකරුණා" සොයුරියගෙන් දුරකථනය හරහා. ඇයගේ දයාබර මවුතුමිය මේ පවුල විඳින දුක් කන්දරාව සියැසින් දැකලා පුදුම තරම් විදියට දෑස් තෙත් කරන් තිබුණා. ඇත්තටම ඇයගේ දයාබර ඉල්ලීම තමා සුමුදු සහ මම එකතුවෙලා මේ ඉටු කරන්නට යෙදුණේ. 


අන් අයගේ සිනාවට ආදරය කරන, අන් අයගේ නෙතින් වැටෙන කඳුළු පිසදාලන්නට දෑත් දිගුකරන්නට දෙවරක් නොසිතන ඔබ සැම මේ කඳුළු කථාවට සංවේදී වුණා නම් ඇත්තටම කීවොත් මේ පුංචි දරුවා ජීවත් වෙලා ඉන්න කාලයක් තුරාවට අපිට අවශ්‍ය ඔහුට ඔහුගේ පවුලට සහනයක් වෙන්නයි. ඒකයි අපේ ප්‍රධාන අරමුණ.

ඒ සඳහා අපි පුංචි අරමුදලක් පටන් ගන්න අදහසක් තියෙනවා. ඔවුන් විඳින මේ දුක් කන්ද දශමයකින් හරි අඩු කරගන්න පුළුවන් නම් ඇත්තටම ඒක ඔබට කරන්න පුළුවන් උතුම් ම පුණ්‍ය කර්මයක් වේවි......!!!!!!!!


නම- දනoජය කුමාර මුණසිoහ 


පදිoචිය- 130/c, මීගම්පිටියවත්ත, කොටකෙදෙනිය, වැලිගල්ල. 


උපන් දිනය- 2001.02.25

වයස- අවුරුදු 12

                     දුරකථන අoකය-  +94 0779648954  
                 

ගිණුම් අoකය- 018200150023407

 W.M.H.K පලිපාන මහත්මිය

මහජන බැoකුව -ගම්පොල ශාඛාව


මේ.... ඒ කුඩා පුතුගෙ මව ගැන මට දැණුනු දේ.........


දස මසක් කුස හොවාගෙන...
අහස් කුස තෙක් පැතුම් පොඳි බැඳ......
ජීවිතේ දුක් බැමි සිතින් විඳ ගෙන...
දකිනු රිසි වූයේ නුඹෙ පුංචි වත මඬල.......



නුඹේ වයසෙම පුංචි උන්....
පෑන් පැන්සල් සමඟ යහළුව සිටී සතුටින්.....
ඇදී යන සඳ මගේ මනසේද නුඹේ දඟකම්.....
නැඟෙන කඳුළැලි වලට කෙසේ සමු දෙම්ද පුතුනේ මම්.....!!


සිහින සැම වියැකී බිඳෙද්දී...... 
නිහඬ නෙත රහසින් හැඬූ සැටි.....
ලිපෙහි ගින්නක් ඇවිලෙනා බව..... 
නොදැක ඉහිළූ කප්පරක් ගිනි......
සිඟිති පුතු දකිනා සෑම වර..... 
හදවතද දා අළුව යන සැටි.....
නොදුටු දෑසින් නෑසු සවනින්..... 
කොයිබදෝ වැඩ සිටියෙ සිව් දෙවි......



ඇගේ මවු සෙනෙහසේ සීමා..... 
අමුණගන්නට මට වදන් නැත.....
නුඹේ පිහිටක් ඇගේ ඒ සිත..... 
සිඟා අයදින්නටද රිසි නැත.....
උණු වුනේ අපෙ හදවතයි අද..... 
ඇයට සරණක් අවැසි වී ඇත.......
නුඹේ සිත තෙත් වෙනා තරමට.....
 වියැලේවි ඇගෙ නෙත පිරූ තෙත......!!




Friday, July 20, 2012

~~~~.....මගේ සිතයි කඳුළු කැටයි.....~~~~


මේ මගේ සිත මුමුණන හඬයි...........,

සිඳු රළ පෙළ ඇවිත් මකන පා සටහන් වගෙ හරියට...
නුඹේ සිතත් මා අමතක කලා නේද හරි විගහට....
ඒත් ඉතින් අසරණ මගෙ ගල් සිත කෙටු අකුර ලෙසට....
නුඹ ගැන ඇති මතක පොකුර මකන්න බැරි හැටි ඇත්තට...




කඳුළු පොදි පිටින් ගැලුවා - දෝරෙ ගලන වැස්ස වගේ...
කඳුල මැද සිනා මැවුනා - වැහි මැද දේදුන්න වගේ..
කඳුළැලි වියැලේවි හෙමින් - මහ වැහි පායනා ලෙසේ....
නාඬා ඉතින් හිනා වෙයන් - සුපිපුණු සුදු නෙළුම් මලේ...!!!



මගේ කඳුලු වලට, කතා කල හැකි නම්...
                                          කියාවී මෙසේ....,


නුඹේ සිනාවට අදරැති - අරුමැති සිත හමුවන තුරු.....
කල්ප කලක් වුව ඉන්නම් - නුඹෙ නෙත ලඟ මං නිරතුරු...
උණු කඳුලට සමු දීලා- සතුටු කඳුල වී දිවි තුරු....
"ඔහු" තැළි පළඳවන දිනේ සතුටින් සරසමි යුග නෙතු....!!!!



Wednesday, July 11, 2012

~~~~~~~~~~නිවෙන්නට හැකි නම්~~~~~~~~~~


බැඳෙන හැම බැඳුම ම ලිහෙන විට-ඇලෙන අරමුණු නැතිව යද්දිත්
ලඟින් සිටි අයවලුන් නික්මී-නොපෙනෙනා ඈතට ඇදෙද්දිත්
වෙනස් නොවෙනා එකම දේ-වෙනසමයි බව වැටහී තියෙද්දිත්
ඇයිද මං තව තවම හිඳිමින්-සසර මඟ කෙටි කර නොගන්නේ

මේ තරම් මට කළකිරෙන්නට- කාරණා අපමණ තියෙද්දිත්
ලෝ සතම දුක'ඳුර නිවූ දම්- අමා රස හොඳහැටි දනිද්දිත්
සෑම දේ අවසන විඳින්නට -උරුම දුකමයි, එය හැඟෙද්දිත්
ඇයිද මං තව මගේ කුණු කය- මෙහිම හොවමින් දුක් විඳින්නේ

අනඳ හිමියන් අෂ්ට ගරු දම් -සමග වැඳ අවසර පතද්දිත්
මෙහෙණි සස්නට ගෝතමී- උතුමියන් වෙත අවසර ලැබෙද්දිත්
විශාකාවන්, පටාචාරා- නිවන් මාවත වෙත ඇදෙද්දිත්
ඇයිද මං තව මෙහිම කල්මරමින්- තවත් හිඳ පසු තැවෙන්නේ

නිදහසක් ලබනා ඇසිල්ලෙහි- යදම් බිඳ දා ඉගිලිලා යමි
කිසිදු බැඳුමක වියෝ දුක් ගී- නෑසෙනා ඈතකට දිව යමි
නිසල වූ සිත සසල කරනට සමත්- කිසිවක් රැගෙන නොම යමි
කටුක දුක් ගිරි දුර්ග මඟ හැර- නිවන් මාවත පසක් කරගමි !!








Monday, July 9, 2012

~~~~~....සිත නිවාලන සෙනෙහසක් දුටුවෙමි.....~~~~~~


මවක සේ නුඹ පුදන....අනන්ත වු සෙනේහය
සිතේ ගැඹුරුම තැනෙක....නිදන් කර තබා ගෙන
පියෙකු සේ නුඹ රකින....සතුට කඳුලැලි දරන
ඔහුගේ සිතේ.....
 සුපහන් බව හැඟෙනා විට පවා......
නිවේ මා සිත නිවේ.........!!!!!




තරවටුද ඉවසා ගෙන....ආදරය බිඳක් වත් අඩු නොකර
දයාවෙන් හදවත පුරෝගෙන.....ඉවසුමෙන් සැනසුමද විඳ ගෙන
ආදරය හරි සීරුවට........ වර්ණ ගන්වා සියුම් ලෙස
සිතුවමට නඟනා නුඹ....
ඇස ගැටෙනා දසුනින් පවා......
නිවේ මා සිත නිවේ.........!!!!!




දිවි මඟේ දුක් ගැහැට....නේක සතුටින් දරාගෙන
උනු'න් වෙනුවෙන් දිවිය..... සදහටම පුදා ගෙන
අහිංසක සිත් දෙකේ.... පැතුම් පොදි දරා ගෙන
සන්තොසින් බබළනා..... හිනැහෙනා ඇස් හතර
අනාගත සුබ සිහින...... වෙතට නිති යොමා ගෙන


උතුරනා සෙනෙහසම..... ජිවිතය කරගත් 
නුඹ දෙපළ.........!!!

දකින හැම වාරෙදිම...... 
සත්තමයි නිවී සැනහී යයි...... 
මගේ සිත් මඬල..........!!!!!!



පසු වදන: මං ලඟින් ඇසුරු කරන දෙපළක ගේ ලස්සන ආදර කථාවක අපූර්වත්වය තමා මේ පද පෙළට නිමිත්ත වුනේ.....
ඇත්තටම සිත නිවාලන, ආදරය කියන වදනටත් ආදරය කරන්න හිතෙන තරමටම සුන්දරත්වයක් ඒ දෙදෙනාගේ ආදර අන්දරය ඇතුළේ සැඟවිලා තියෙනවා......
ඉතින්,
ඒ සුන්දර ආදරය තව තවත් සුන්දරව දිලේවා කියලා හදවතින්ම පතන ගමන්ම මේ පද වැල් ගෙත්තම තිළිණයක් ලෙසින් පුදන්නම් මෙසේ.....!!!! 




Wednesday, June 27, 2012

~~ගිනි කන්ද පුපුරා ගොස් ඇත....~~


මගේ මිතුදම අවැසි නැත්නම් රැඳී නොම සිට පලා යනු මැන
මා පෙලා මා සිත තලා තව රැඳෙන්නට අවැසි වු කරුණ කිම??
ගොසින් තැන තැන දොඩා හිස් බස් මුසාවෙන් ලෝකය මුලා කර
මිනිස් වෙස් ගත් නරිත් සිටිනා වග පෙන්වලා දුන්නා නුඹ මට.....

කවුරු කොයි ලෙස කෙසේ දුටුවද මගෙ සිත ගැන ම'හට කම් නැත..
නුඹ නමින් පැතු පැතුම් ගොන්නේ වටිනකම හොඳ හැටි දනිමි මම...
ජීවිතේ හැරිලා බැලූවොත් නුඹේ වදනින් සිදු කරපු පව....
පමා වැඩිවී පසු තැවෙනු ඇත නුඹත් නුඹ හට අහිමි වූ දින....

කරපු වරදට කිසිත් නොකියමි නිහඬවම මං විඳ දරා ගමි....
එහෙත් නුඹ මට ඉගැන්වූ දේ දිවි තුරාවට සිත තබා ගමි....
යළිත් මිනිසත් කම හැඳින මිස නොමිනිසුන්ගෙන් හෙටක් නොපතමි...
සිදුවු හැමදේ සිදුවුනේ මගෙ යහපතට සිතමින් සිත හදා ගමි.....!!!




ගිනි කන්ද ඉවසූ තරම.....මෙතෙකැයි කිව නොහැක.......
කිසි දිනෙක පුපුරා යන්නට නොසිතුවද........
අවසන......ගිනි පුපුරු සේ උණුසුම් වූ ලෝ දිය උතුරවමින් එය පුපුරා ගියාය.....


යළිදු කන්ද ගිනි කන්දක් නොවනු ඇත......
මහ මෙර සේම නොසැලී හිඳිනු ඇත.....
යළිදු ලෝ දිය සේ කඳුළු වැල් නොම ගලනු ඇත.......
ඉඳින්,
ගිනි කන්දෙහි අභාවය මෙසේ සනිටුහන් කරමි...........!!!!!!!!!!!!!


Monday, June 25, 2012

සැනසීම......



ජීවිතයේ සැම අතකම වෙන් වීමයි තිබුනේ පුතේ.....
එක් වීමක් නැති තැනකදි වෙන් වීමක දුකක් නැතේ.....
බැඳුමන් ගිලිහී යද්දිත් සිනහා අතුරමින් මුවේ.....
හදවත තද කරන් තවත් ඉදිරියටම ඇදෙන් දුවේ.....!!!!

සතුටම නිති සැමදා නැති - කඳුළු කැටත් මුහුවී ඇති
සිනාසුනොත් එක මොහොතක් - තව මොහොතක හඬන්න වෙති
දුක සැප දෙක නිති පෙරළෙති - මේ ලොව දහමත් එය වෙති
ඒ දහමට අවනත ඇති - ඇත්තෝ නිවනට ළං වෙති.....!!!



Friday, June 8, 2012

~~~~........දයාබර සිතැත්තී ඔෂින්.......!!!!~~~~


විඳ නේක දුක් කරදර.....
උහුලා සීත හිම මත.....
ෆූජි කඳු මුදුනටත් උඩින්..... 
උණුසුම් සුසුම් වැල් පා කර....... 
දිනා සොඳුරු වූ ජීවිතය........ 
සිනාසුනු සැටි දුටුවෙහිද සිරි කත.......!!!!!!

කඳුල දියකර දිරිය අතුරා.....
හදෙහි පිරි ආදරය පතුරා......
දිවි මඟ නොසැලී තරණය කෙරුමට.....
නුඹ මිහි මවුට පෙන්වූ සවිය ඉමහත්......!!!!!

වසර ගණනක් එපිටින්......
දුටුව නමුදු මේ දිරිමත් ගැහැනිය.......
එදා මා පොඩි දරුවෙකි.......
නුඹේ සවියෙහි තරම හරිහැටි නොහැඟුණු......!!!!!

නමුදු අද නුඹ දෙස බලමින්......
නුඹේ සවිමත් සිත මා තුලින්ද සොයමින්.......
මමද වන්නට වෙහෙසෙමි........
නුඹ වන්ම නොසැලී..........
කඳුළු හා සටන් කල හැකි දිරිමත් වූ කතක්........!!!!!



ඔබ විසින් ප්‍රතිනිමැවුම් කල...... 
එකී සැබෑ චරිතය තුලින් අත් දුටු...........
අචල ආත්ම විශ්වාසය......... 
සෑම මනු සතෙකු සතුවම පවතී නම්........ 
කොතරම් ලස්සන වන්නට තිබුනාද........ 
මේ විසල් ලෝ තලයම...............!!!!!!!

කඳුලැලි දරනු නොහැකිව....... 
සිය දිවියෙන් පලා යන........
නොලද දේම පතමින්......... 
ලද දෙයින් අසතුටු වන.........
මිනිසුන් වසන පොලවෙම.....
නුඹව නිමැවූ අරුමය.....!!!!!!!!

ආදරෙයි සැමදා..........නුඹ හට.........
නුඹටමයි මේ සුන්දරවු ගෙත්තම............!!!!!!!

දයාබර සිතැත්තී ඔෂින්....!!!
නුඹ මට ජීවිතය මේ යැයි කියා දුන්නීය............!!!!!



පසු වදන :

මේ දිනවල ජාතික රූපවාහිනියේ නැවත වාරයක් විකාශය වන "ඔෂින්"ටෙලි වෘත්තාන්තය ජපානයේ වාසය කල සැබෑ චරිතයක් වටා ගෙතුණු විශිෂ්ටතම නිමැවුමක්....ගැහැනියකගේ නොසැලෙන චිත්ත ධෛර්යය, කඳුල, සුසුම,අනෙක විධ දුක්ඛ දෝමනස්සයන් මැදින් ජීවිතය ජයගන්නා අපූරුව ඉතාමත් සියුම් ලෙසින් විග්‍රහ කර ඇති මේ කතා මාලාව වර්තමාන පරපුරට සපයන්නේ කියා නිම කළ නොහැකි මහඟු ආදර්ශ සමුදායක්......අනිවාර්යයෙන්ම අපේ රටෙත් අනන්තවත් මේ වාගේ චරිත ඕනෑ තරම් ඉන්නා බවට කිසිදු සැකයක් නෑ.....

ඒත්,බොහොම සුළු දේවල් මහ විසාල විදියට සිතා ගෙන ජීවිතයෙන් පලා යන්නට සිතන දුර්වල වූ සිත් ඇත්තන්ට ඔෂින් සපයන්නේ මොන තරම් වටිනා පණිවුඩයක්ද?....සිය දිවි නසා ගැනිම් වැඩිම ප්‍රමාණයක් වාර්තා වන රටවල් අතුරින් ඉහලම ස්ථානයක් හිමි කරගෙන සිටිනා සිරි ලංකා මෑණියගේ දූ දරුවන් වන අප සැමට සැබැවින්ම ඔෂින් ගේ ජීවන ගමන කියා දෙන්නේ ප්‍රශ්න වලින් පලා යාමට නොව නොසැලී ජීවිතය සමඟ සටන් කර ජීවිතය ජය ගැනීමටයි........
ඉතින්,මේ ඒ පිළිබඳව සිතන්නට කාලයයි......!!!!!!!

හඬමින් වැලපෙනා නේක හදවත් දිරියෙන් පුරවා ජීවිතය දිනන්නට පන්නරය ලැබ දුන් ඔෂින්ටත්,
අපේ රටේ මෙවන් වූ දිරිමත් සිත් ඇති සියළුම ඔෂින්ලාටත් මගේ මේ පුංචි පද පෙල උපහාරයක්ම වේවා.......!!!!!!