Pages

Wednesday, October 10, 2012

.......අනේ ආයිත් එන්න අපට පාළුයි ගොඩක්........


පස් මිටට වැසී නුඹ නොපෙනිලා යන තුරුම...
බලා උන්නෙමි දුරින් එක මිටට ගෙන මතක...
දල්වාපු පහන් සිල වියළි පවනට මුසු ව...
නිවෙන විට කෙඳිරුවෙත් අනියතම බව නොවෙද...?

නිහඬවම සිනා පිරි මුවින් නිති ළඟ රැඳුන..
මතක ඇත නුඹෙ වදන් සවන රැඳි හැම දිනම..
නොකියාම යන්ට පෙර එක වරක් පෙර ලෙසම...
හිනාවක් පුදන්නට අමතක කලේ කිමද...?



නුඹ නො එන ලෙස ගියැයි  දුටුව නෙත තෙත් වුණා..
ළඟින් සිටියේ නැතත් අතීතය සිහි වුණා...
නුඹ දකිනු රිසින් මා දෙපා යුග එසවුණා..
පුංචි යෙහෙළිය මහී මවු තුරුළෙ සැතපුණා..

ළඟම හිඳ වෙන්වුනත් තියා කඳුලැලි බිඳක්...
වසර ගණනක් නොදැක ගියත් නොපෙනෙන දුරක්...
දැනෙන දුක එකයි එය හිතට දැනුණා හුඟක්...
අනේ ආයිත් එන්න අපට පාළුයි ගොඩක්...!!!!!!!


ඇය රමාධා ගිහාරි ගමගේ.....මගේ පාසලේ මිතුරියක්, පසු ගිය ඔක්තෝබර් 06 වැනිදා, සෙනසුරාදා,ඇතිවුණු හදිසි අසනීප තත්වය උග්‍ර වීම හේතුවෙන් ඇය සදහටම අපෙන් සමු ගත්තා.ඇය වෙනුවෙන් කරන්න පුලුවන් ලොකුම දේ වුණේ අවසාන වතාවට ඇයව බලන්න යාම විතරමයි...
රමාධා,  අනුලා විද්‍යාලයේ 2007 අපේ කණ්ඩායමේ හිටපු පුංචිම සහෝදරිය...හරිම නිහඬ චරිතයක්...හිනා වෙලාම තමා ඉන්නෙ ගොඩක් වෙලාවට....ඇයව මට ගොඩාක් සමීපව ඇසුරු කරන්න අවස්ථාවක් ලැබුනෙ නෑ..ඒ වුණත් ඇය මාත් එක්ක බෙදා හදා ගෙන තිබුණු වචන කීපය උනත් මේ වගේ මොහොතක මොන තරම් මතකයක් ඉතිරි කරලා යනවද කියල හිතුණා.....

ඉතින් ඔබ වෙනුවෙනුයි මේ පබැඳුම.....
දයාබර යෙහෙළියේ...ඔබට නිවන් සුව ලැබේවා....'!!!!!

යළි කවදාවත්...
හමු නොවෙනා බව....
මඳ පවනත් හිස අතගා කීවද...
අදහා ගන්නට...
නොහැකිය කිසි විට....
ඇය යළි නො එතැයි ගිම්හානෙට පෙර.....

(ඡායාරූප අයිතිය : සඳුනි විලාශා සෙන්දනායක සොයුරිය)

Wednesday, October 3, 2012

සසර මතු මතු හිත නිවෙන තුරු ආදරේ නුඹටයි දෙවින්දූ....





ආදරෙයි මං නුඹට මෙතෙකැයි කියා ගන්නත් බැරි තරම්...
නුඹේ උරහිස තරම් සිහිළස සුවය වෙනතක නැති තරම්...
ඔය නුවන් තුළ මා දකින්නට අනේ මා පින් කල තරම්...
හැඟෙන විට ඔය සිත මගෙම බව සිතෙයි ඉගිලෙන්නට තරම්...


උදා වී සුපහන්ව මා හද පුබුදු කල ආදර දිනින්දූ...
රකිමි නුඹ මගෙ පණට නොදෙවෙනි වටින තව කවුරුත් කොයින්දෝ...
මගෙ පුංචි ලෝකයෙ අඳුර බිඳ මගෙම වී හිනැහෙන තරින්දූ..
සසර මතු මතු හිත නිවෙන තුරු ආදරේ නුඹටයි දෙවින්දූ.....

නුඹ දකින්නට පොපියනා නෙත පියන්නට මේ රෑ සිතක් නැත...
රන් රුවක් සේ මැවෙන නුඹෙ වත මහමෙරක් සේ මට වටිනු ඇත...
බලා ඉන්නම් කල්පයක් වුව සහස් සුවහස් පැතුම් පොදි බැඳ....
නුඹ දකින තත්පරය වුව සත්තමයි මා සිත නිවාලනු ඇත.......!!!

Sunday, September 9, 2012

බලාපොරොත්තුව දෝත දරා මඟ බලා හිඳී ඔබ එනතුරා....!!!!!!


නොපෙනෙනා දුර හිඳන් හිනැහෙන නුඹේ නෙතු යුග දෙස බලා....
හෙට දවස ගැන සොඳුරු පැතුමන් කප්පරක් සිත තුළ දරා.....
ජීවිතේ නුඹ නමින් ලියැවෙන නව පිටක අත පොත් තියා.......
නුඹව දුටු මුල් දිනේ මා වෙත පෑව මදහස සිහි කලා.......!!!!!

මුකුලිතව මැලවුණු සිනා මල් නුඹ නිසා විකසිත වෙලා.....
හිරු මැදින් පිබිදෙනා හැම දින නැවුම් අරුතින් බර වෙලා........
මියෙන්නට ගිය ජීවිතයකට පණ දුන්නු මහිමය බලා........
මුළු හදින් මා නුඹට කැප වෙමි ආදරෙයි නුඹ හට සදා.....!!!!

පුංචි තරු කැටය නුඹ මගේ ලොව එළිය කල.....
පුංචි මල් කැකුළ වී මගෙ දිවිය සුවඳ කල....
මමයි දඟකාරි නුඹෙ උණුහුමට ලෝබ කල....
එනතුරා මඟ බලමි ආදරය තුරුළු කර.............!!!!!!!

ජීවිතේ මා දුටුව සොඳුරු සිහිනයයි නුඹ....
වියැලුවා කඳුළු අතුරා සිහින් සිනා පොද....
පතන්නේ එකම පැතුමකි මගේ ගැහෙන හද....
මගේ වී හැමදාම හිඳිනු මැන මගේ ළඟ....!!!!

පෙනෙන නොපෙනෙන පෙනී පෙනී නොපෙනෙන....
දකින්නට නෙතු දෙක පෙරුම් පුරන නමුදු දකින මඟ ඇහිරෙන....
කවදා හෝ එක්ව ගයන්නට ලැබෙන තුරුම ඉවසා ගෙන හිඳින....
සුන්දරම ගීතයකි හදවතේ කොණකට වී නිහඬවම පබඳින.........!!!

මල්ලීට ලියූ කවි......

උපන්දිනයදා.....!!


අම්මා.........,
කිරි සුවඳත් තුරුළු කරන් සනසවමින් අපේ නෙතූ
නුඹ ඉපදුනු දා වූවා මුළු ලොව දිනු ලෙසින් තුටූ
මගෙ අ'තැඟිලි අල්ලා ගෙන වැටි වැටි ඇවිදින්න හැදූ
හුරතලේට ලඟ දැවටුණු නුඹ දැන් ලොකු වෙලා පුතූ...

අක්කා........,
 පුංචි කමට කල දඟකම් ඇස් රතු කෙරුවත් මල්ලී
තප්පරයක් බෑ හිඳුමට මගේ සෙනෙහසින් වෙන් වී
හිස අත ගා සැනසෙන්නට අක්කගෙ තුරුලට ලං වී
සංසාරේ හැම මොහොතෙම මා ලඟ හිඳපන් මල්ලී....!!!

ජීවිතයේ ගමන දුරයි නුඹට වෙහෙස දැනෙයි පුතේ
වෙහෙස නිවන්නට ඔසු වන් සෙනෙහස අඩු නැතිව තියේ
නුඹෙ ලෝකයෙ නුඹ රජවන දින මට සිහිනයක් නොවේ
ලොවම දිනා නුඹ එනතුරු මඟ බලාන හිඳිමි මලේ.......!!!!


රටක් වටී නුඹ මා හට මගේ පුංචි මල්ලියේ.....!!!!!




පුංචි කාලෙ අයියා එක්ක
හැමවෙලේම රණ්ඩු වෙලා
කඳුළු පුරෝගෙන හඬමින් මා ගාවට දුව ආවිට
හිස අතගා සැනසූ හැටි අද වාගේ මතකයි මට......

පොත් මේසේ හරි කදිමට
වෙහෙස වෙලා අස් කරලා
ගිම් නිවනා අවසරයෙන්
නුඹ දුව ඇවිදින් හනිකට
තිබුණාටත් වඩා තරම් කොළ කඩදහි විසුරවද්දි......
තරහ ගිහින් බැණ වැදුනම
දිව යන හැටි තවමත් මැවෙනවා මා හට....

පාසල් ඇරිලා හැමදින
ගෙට ගොඩවෙන්නේ අහගෙන....
අක්කේ අනේ බත් කවන්න...
පන්ති යන්න තියෙනව මට....

අපි හැමෝම එක වගේම
ආදරේ බව දන්න නිසා
දඟ වැඩ කරනා නුඹ හට
ඉඳහිට බැන්නත් අම්මා......
නුඹේ පුංචි ඔය දඟකම
අපේ පාළුව නැති කළ වග
අපේ නිවසම එළි කළ වග
මට සිහි වෙයි හැම මොහොතෙම..........

කාලය ගතවෙලා හෙමින්
නුඹ කොච්චර ලොකු වෙලාද
ඒත් නුඹෙ අක්කට නම්
නුඹ පුංචියි එදා වගෙම......

ජීවිතයම දිනා දිනෙක
"මගේ අක්කේ" කියා පෙරට
දිව එනතුරු ඇඟිලි ගනිමි
දනිමි එයයි නුඹෙත් පැතුම.....!!

මතු උපදින හැම භවයෙම
මගේ පුංචි මල්ලි වෙලා....
ඉපදීයන් මගෙ ලෝකෙට....
සුවඳ හමන මලක් වෙලා.....!!!




Monday, September 3, 2012

....................අතීත මතක සැමරුම්..................


දමා ඈතට ගියද...

තවම ඇත ඔබෙ සුවඳ...

බැලු බැලූ හැම අතක...

කඳු ගැසී ඇත මතක...


තෙවසරක් ගෙවී අට මසක් ඉපැරණි නුඹව

මතකයෙන් මුදන්නට වෙර දරන සැම විටම

තව තවත් මනස තුළ පෙරළි කරනා අරුම

දකි විට වෙහෙස වී හඬයි නෙත සිත දෙකම.....


තුන් වසක් එපිට පෑ අනන්ත වු සෙනෙහසට
..
එකම තිළිණයයි අවැසි ඒ නුඹේ සිනහ පොද

සවිමත්ය සිත සොඳින් ජීවිතය හැඳින ගෙන

එහෙත් ඒ සිත තවම සිනහවක් යදිනු ඇත.....


නික්මුණු දින සිනාවෙන්ට අමතක වුණු නිසාවත්ද

මේ තරමට නුඹෙ හසරැල්ලටම ලෝබ කලේ මන්ද

කිසිදා නොලැබෙන බැව් දැන හද පිරවූ පැතුම් කන්ද

බිමට සමතලා කරන්න තවමත් මා පමා කිම්ද.......???



දිවි තුරා ඔබම එන තුරා මඟ බලන්නෙමි

හිමි නොවූවද ඉතින් නෙත කඳුල දරන්නෙමි

වීසි කල කවි තුලද තව තැවුල් ඇහින්දෙමි

වෙන තැවුල් කුමට නුඹෙ මතක තුළ ගිලෙන්නෙමි....!!!

Saturday, August 25, 2012

~~~~සංසාර බැමි~~~~


දහම් පාසල් ගිය දවස් වල දහම් පොත් ඇසුරම ලබා....

බුදු සමිඳුගේ උතුම් බණ පද අරුත් නිති සිහිපත් කලා...

බැඳෙන්නට රිසි නොවේ කිසිවක දුකම ඇත අවසන සිතා..

උපාදානය ලිහිල් කොට සැනසුම් සුසුම් හෙළුවෙමි එදා.....!!!




බොළඳ වී බැඳුමන් වලට ලොබ සිත දුකින් මුසපත් වෙලා  ඇති...

කරුණු පහදා වෙහෙස වී මුත් ගල්ව ගිය සිත් මෙලෙක් වී නැති..

මඳක් නතරව වෙහෙස නිවමින් ඇයිද මෙතරම් කඳුළු විසිරෙති...

වැටහිලා ඇත මුලාවී ඇති සිතයි බැඳුමට මේ තරම් ලැදි....!!!!





දැඩිව අල්ලා ගන්න තුරු ඒ බැඳුම් අපගෙන් ගිලිහෙනා සැටි ....

මැදහත්ව නිසසලව සිතුවොත් සියළු දුක් වියැකිලා යන සැටි...

බලා හිඳ දැන් දැන් ලැබේයැයි කියන කිසිවක තිර බවක් නැති....

"මම" "මගේ" සීමා තැනූවද හුස්ම යන දා මට "මම"ත් නැති....!!!!!!!



Tuesday, August 14, 2012

~~~~~~මගෙ "පොඩි පුතු" යළි එන තුරු~~~~~~


නුඹෙ මුව අග මා පෙවු ලේ කිරි සුසුවඳ රැඳෙන තුරුම....

රහමෙර බිඳකට එ සුවඳ නුඹ පාවා නොදෙන අරුම..

විඳිමි සොඳින්.. නුඹෙ දස්කම් මගෙ නම බබලවපු මහිම...

මං දන්නවා මයෙ "පොඩි පුතු" මට ඇති ආදරයෙ තරම...!!


අයියාටත් වඩා නුඹේ ගත හා සිත හරි සවිමත්....

තාත්තටයි මටයි ඉතින් ඒ හැර කොහි වෙන සතුටක්....

අපි දෙන්නා බැණ වැදුනත් ලොකුවට ගෙන පොඩි වරදත්...

නුඹට තිබුනු ආදරයයි ගැලුවෙ පුරා හැම වදනක්....!!!


සතෙන් සතේ උපයන්නට නුඹ හෙලනා දා බිඳු පොද....

දකිනා හැම මොහොතකදිම කඳුළු රැඳෙයි මගෙ නෙතු අග....

මුල් පඩි පත ගත්තු එදින නුඹ දුන් සාරියේ සුවඳ...

තනිය මකයි නුඹ නැති දිනයක් ඉඳ හිට ලබන විටෙක.....!!!!


අපෙ "පොඩි පුතු" තාත්තටයි අම්මාටයි වටින තරම්....

කියාගන්න ඇමිණූවත් වදන් පමණ නොවේ ඉතින්...

සංසාරේ මේ නැවතුම නුඹ වන් තිලිණයක් අරන්....

පුද දුන් දින දැනුනි සිතට කෙතරම් පින් කලාද මං...!!!!!


මගේ අතින් අනා කවන බත් පිඬු රස සිහිවන'යුරු.....
දැනී ඉතින් නාඬ ඉඳින් අම්ම තරහ නෑ.. මා පුතු.....
සිනා සපිරි මුව මඬලින් "අම්මා" කියා අමතන තුරු.....
මඟ බලාන මං ඉන්නම් මගෙ "පොඩි පුතු"යළි එන තුරු.....!!!!!!!!!



පසු වදන :-
ඇත්තටම මේ කවි පෙල ගෙතුණේ මගෙ නෙත ගැටුණු සොඳුරු නිර්මාණයකට පිළිතුරක් විදියට.....
මෑත දවසක මම මගේ හිතවත් "ශයංග අශාන්" සොයුරාගේ  "ශයංග ගේ ප්‍රාන්තය" බ්ලොග් අඩවියේ
 "අසන් අම්මේ " යන මැයින් ගෙතුණු අපූරු සුන්දර පදවැල දුටුවා.එය දුටු මගේ සිතට නැඟුනු සිතුවිල්ල මේ ලෙසින් මං අකුරු කළා......

ශයංග සොයුරාගේ නිර්මාණයෙන් ඔබ්බට යමින් මා මගේ නිර්මාණය තුලින් මතු කරන්නට උත්සහ දැරුවේ දරුවෙකු මුරණ්ඩු වී අම්මා සමඟ හිත් නොහොඳ වී නිවසින් බැහැර වී ගොසින් ඇති මොහොතකදී...පුතු නැවත නිවසට පැමිණෙන තුරු නෙතු දල්වා බලා හිඳිනා මවගේ සිතේ කැටිවී ඇති වේදනාවයි...සන්තාපයයි.......!!!!