Pages

Monday, September 3, 2012

....................අතීත මතක සැමරුම්..................


දමා ඈතට ගියද...

තවම ඇත ඔබෙ සුවඳ...

බැලු බැලූ හැම අතක...

කඳු ගැසී ඇත මතක...


තෙවසරක් ගෙවී අට මසක් ඉපැරණි නුඹව

මතකයෙන් මුදන්නට වෙර දරන සැම විටම

තව තවත් මනස තුළ පෙරළි කරනා අරුම

දකි විට වෙහෙස වී හඬයි නෙත සිත දෙකම.....


තුන් වසක් එපිට පෑ අනන්ත වු සෙනෙහසට
..
එකම තිළිණයයි අවැසි ඒ නුඹේ සිනහ පොද

සවිමත්ය සිත සොඳින් ජීවිතය හැඳින ගෙන

එහෙත් ඒ සිත තවම සිනහවක් යදිනු ඇත.....


නික්මුණු දින සිනාවෙන්ට අමතක වුණු නිසාවත්ද

මේ තරමට නුඹෙ හසරැල්ලටම ලෝබ කලේ මන්ද

කිසිදා නොලැබෙන බැව් දැන හද පිරවූ පැතුම් කන්ද

බිමට සමතලා කරන්න තවමත් මා පමා කිම්ද.......???



දිවි තුරා ඔබම එන තුරා මඟ බලන්නෙමි

හිමි නොවූවද ඉතින් නෙත කඳුල දරන්නෙමි

වීසි කල කවි තුලද තව තැවුල් ඇහින්දෙමි

වෙන තැවුල් කුමට නුඹෙ මතක තුළ ගිලෙන්නෙමි....!!!

Saturday, August 25, 2012

~~~~සංසාර බැමි~~~~


දහම් පාසල් ගිය දවස් වල දහම් පොත් ඇසුරම ලබා....

බුදු සමිඳුගේ උතුම් බණ පද අරුත් නිති සිහිපත් කලා...

බැඳෙන්නට රිසි නොවේ කිසිවක දුකම ඇත අවසන සිතා..

උපාදානය ලිහිල් කොට සැනසුම් සුසුම් හෙළුවෙමි එදා.....!!!




බොළඳ වී බැඳුමන් වලට ලොබ සිත දුකින් මුසපත් වෙලා  ඇති...

කරුණු පහදා වෙහෙස වී මුත් ගල්ව ගිය සිත් මෙලෙක් වී නැති..

මඳක් නතරව වෙහෙස නිවමින් ඇයිද මෙතරම් කඳුළු විසිරෙති...

වැටහිලා ඇත මුලාවී ඇති සිතයි බැඳුමට මේ තරම් ලැදි....!!!!





දැඩිව අල්ලා ගන්න තුරු ඒ බැඳුම් අපගෙන් ගිලිහෙනා සැටි ....

මැදහත්ව නිසසලව සිතුවොත් සියළු දුක් වියැකිලා යන සැටි...

බලා හිඳ දැන් දැන් ලැබේයැයි කියන කිසිවක තිර බවක් නැති....

"මම" "මගේ" සීමා තැනූවද හුස්ම යන දා මට "මම"ත් නැති....!!!!!!!



Tuesday, August 14, 2012

~~~~~~මගෙ "පොඩි පුතු" යළි එන තුරු~~~~~~


නුඹෙ මුව අග මා පෙවු ලේ කිරි සුසුවඳ රැඳෙන තුරුම....

රහමෙර බිඳකට එ සුවඳ නුඹ පාවා නොදෙන අරුම..

විඳිමි සොඳින්.. නුඹෙ දස්කම් මගෙ නම බබලවපු මහිම...

මං දන්නවා මයෙ "පොඩි පුතු" මට ඇති ආදරයෙ තරම...!!


අයියාටත් වඩා නුඹේ ගත හා සිත හරි සවිමත්....

තාත්තටයි මටයි ඉතින් ඒ හැර කොහි වෙන සතුටක්....

අපි දෙන්නා බැණ වැදුනත් ලොකුවට ගෙන පොඩි වරදත්...

නුඹට තිබුනු ආදරයයි ගැලුවෙ පුරා හැම වදනක්....!!!


සතෙන් සතේ උපයන්නට නුඹ හෙලනා දා බිඳු පොද....

දකිනා හැම මොහොතකදිම කඳුළු රැඳෙයි මගෙ නෙතු අග....

මුල් පඩි පත ගත්තු එදින නුඹ දුන් සාරියේ සුවඳ...

තනිය මකයි නුඹ නැති දිනයක් ඉඳ හිට ලබන විටෙක.....!!!!


අපෙ "පොඩි පුතු" තාත්තටයි අම්මාටයි වටින තරම්....

කියාගන්න ඇමිණූවත් වදන් පමණ නොවේ ඉතින්...

සංසාරේ මේ නැවතුම නුඹ වන් තිලිණයක් අරන්....

පුද දුන් දින දැනුනි සිතට කෙතරම් පින් කලාද මං...!!!!!


මගේ අතින් අනා කවන බත් පිඬු රස සිහිවන'යුරු.....
දැනී ඉතින් නාඬ ඉඳින් අම්ම තරහ නෑ.. මා පුතු.....
සිනා සපිරි මුව මඬලින් "අම්මා" කියා අමතන තුරු.....
මඟ බලාන මං ඉන්නම් මගෙ "පොඩි පුතු"යළි එන තුරු.....!!!!!!!!!



පසු වදන :-
ඇත්තටම මේ කවි පෙල ගෙතුණේ මගෙ නෙත ගැටුණු සොඳුරු නිර්මාණයකට පිළිතුරක් විදියට.....
මෑත දවසක මම මගේ හිතවත් "ශයංග අශාන්" සොයුරාගේ  "ශයංග ගේ ප්‍රාන්තය" බ්ලොග් අඩවියේ
 "අසන් අම්මේ " යන මැයින් ගෙතුණු අපූරු සුන්දර පදවැල දුටුවා.එය දුටු මගේ සිතට නැඟුනු සිතුවිල්ල මේ ලෙසින් මං අකුරු කළා......

ශයංග සොයුරාගේ නිර්මාණයෙන් ඔබ්බට යමින් මා මගේ නිර්මාණය තුලින් මතු කරන්නට උත්සහ දැරුවේ දරුවෙකු මුරණ්ඩු වී අම්මා සමඟ හිත් නොහොඳ වී නිවසින් බැහැර වී ගොසින් ඇති මොහොතකදී...පුතු නැවත නිවසට පැමිණෙන තුරු නෙතු දල්වා බලා හිඳිනා මවගේ සිතේ කැටිවී ඇති වේදනාවයි...සන්තාපයයි.......!!!!







Tuesday, July 31, 2012

~~සරණක් අවැසි සිතකට පිහිටක් වෙමුද එක්වී~~~

ආදරණීය සොඳුරු සිත් ඇති මිනිසුනේ..!!! 
මේ සහෘද ආමන්ත්‍රණය ඔබේ සංවේදී සිතටයි.......!!!!! 


අනුන්ගේ දුක කඳුලට සංවේදී වන්නට තරම් තෙත් බවින් පිරි සිතක් හිමි ඔබව මං අමතන්න හිතුවේ ඇත්තටම මේ කඳුළු කථාව මගේ නෙත් දෙකත් කඳුලින් තෙත් කරපු නිසාමයි.......


මං කියන්න සැරසෙන මේ කථාවේ කථා නායකයා වයස අවු: 12ක පුංචි දරුවෙක්.ඒ දරුවගේ නම ධනංජය කුමාර මුණසිංහ දිනපතා පුවත්පත් වල, සති අන්ත පුවත්පත් පිටු පුරවාන අපි දකින දුක් කඳුළු කථා ගොන්නෙන් සැඟවුණු මේ දුක්බර කථාව අපේ ඇස් මානයට ගෙනෙන්නටවත් ඒ පුංචි දරු පැටියාට ශක්තියක් නෑ ඇත්තමයි ඒ පොඩි දරු පැටියා උපන් දා සිටම ඔත්පලයි. ඔහුගේ ලෝකය වැතිරී සිටින පුංචි පැදුරු කබලටම සීමා වෙලා. කන්න බොන්න පුළුවන් කමක් ලැබුණු දවසේ ඉඳන් ඔහුගේ ආහාරය වුණේ මාරි බිස්කට් කෑල්ලකුයි කෙහෙල් ගෙඩියකුයි විතරයි. ඔහු තුන් වේලටම ගන්නේ මේ පුංචි ආහාරය විතරමයි.......
දොස්තර වරුන්ගේ අදහස හැටියට මේ දරුවාට ජීවත් වන්නට ඇත්තේ ඔහුට අවුරුදු 15ක් තරම් කාලයක් වනකම් පමණයි....!!!!!!!!!


කිව්වට විශ්වාස කරන්න හිතවතුනි…!!!!!
මේ කථාවේ දුක්බරම කොටස ඒක නෙවෙයි. මේ පුංචි දරුවගෙ පියාට උගුරේ පිළිකාවක්. ඔහුගේ පණ නල ගැටගහ ගන්න ඔහුට ගන්න පුළුවන් එකම ආහාරය සුප් කෝප්පයක් විතරයි.....

මේ පවුලේ යම් තරමකට හරි වැඩක් පලක් කරගන්න පුළුවන් මානසික ශක්තියක් තියෙන්නේ මේ දරුවගෙ මවුට විතරයි. ඇය පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක රෝගීන් ඇතුළු කරන සේවිකාවක් විදියට සේවය කරමින් මේ පවුල පෝෂණය කරනවා. ඒත් මේ ළඟකදි ඉඳන් මොකක්දෝ අවාසනාවකට ඇයගේ අතක පණ නැතිවීමක් නිසා දැන් ඒකටත් ප්‍රතිකාර ගන්න වෙලා........

ඇත්තටම මේ කථාව මං ඇහුවෙ මගේ දයාබර මිතුරිය "සුමුදු රාජකරුණා" සොයුරියගෙන් දුරකථනය හරහා. ඇයගේ දයාබර මවුතුමිය මේ පවුල විඳින දුක් කන්දරාව සියැසින් දැකලා පුදුම තරම් විදියට දෑස් තෙත් කරන් තිබුණා. ඇත්තටම ඇයගේ දයාබර ඉල්ලීම තමා සුමුදු සහ මම එකතුවෙලා මේ ඉටු කරන්නට යෙදුණේ. 


අන් අයගේ සිනාවට ආදරය කරන, අන් අයගේ නෙතින් වැටෙන කඳුළු පිසදාලන්නට දෑත් දිගුකරන්නට දෙවරක් නොසිතන ඔබ සැම මේ කඳුළු කථාවට සංවේදී වුණා නම් ඇත්තටම කීවොත් මේ පුංචි දරුවා ජීවත් වෙලා ඉන්න කාලයක් තුරාවට අපිට අවශ්‍ය ඔහුට ඔහුගේ පවුලට සහනයක් වෙන්නයි. ඒකයි අපේ ප්‍රධාන අරමුණ.

ඒ සඳහා අපි පුංචි අරමුදලක් පටන් ගන්න අදහසක් තියෙනවා. ඔවුන් විඳින මේ දුක් කන්ද දශමයකින් හරි අඩු කරගන්න පුළුවන් නම් ඇත්තටම ඒක ඔබට කරන්න පුළුවන් උතුම් ම පුණ්‍ය කර්මයක් වේවි......!!!!!!!!


නම- දනoජය කුමාර මුණසිoහ 


පදිoචිය- 130/c, මීගම්පිටියවත්ත, කොටකෙදෙනිය, වැලිගල්ල. 


උපන් දිනය- 2001.02.25

වයස- අවුරුදු 12

                     දුරකථන අoකය-  +94 0779648954  
                 

ගිණුම් අoකය- 018200150023407

 W.M.H.K පලිපාන මහත්මිය

මහජන බැoකුව -ගම්පොල ශාඛාව


මේ.... ඒ කුඩා පුතුගෙ මව ගැන මට දැණුනු දේ.........


දස මසක් කුස හොවාගෙන...
අහස් කුස තෙක් පැතුම් පොඳි බැඳ......
ජීවිතේ දුක් බැමි සිතින් විඳ ගෙන...
දකිනු රිසි වූයේ නුඹෙ පුංචි වත මඬල.......



නුඹේ වයසෙම පුංචි උන්....
පෑන් පැන්සල් සමඟ යහළුව සිටී සතුටින්.....
ඇදී යන සඳ මගේ මනසේද නුඹේ දඟකම්.....
නැඟෙන කඳුළැලි වලට කෙසේ සමු දෙම්ද පුතුනේ මම්.....!!


සිහින සැම වියැකී බිඳෙද්දී...... 
නිහඬ නෙත රහසින් හැඬූ සැටි.....
ලිපෙහි ගින්නක් ඇවිලෙනා බව..... 
නොදැක ඉහිළූ කප්පරක් ගිනි......
සිඟිති පුතු දකිනා සෑම වර..... 
හදවතද දා අළුව යන සැටි.....
නොදුටු දෑසින් නෑසු සවනින්..... 
කොයිබදෝ වැඩ සිටියෙ සිව් දෙවි......



ඇගේ මවු සෙනෙහසේ සීමා..... 
අමුණගන්නට මට වදන් නැත.....
නුඹේ පිහිටක් ඇගේ ඒ සිත..... 
සිඟා අයදින්නටද රිසි නැත.....
උණු වුනේ අපෙ හදවතයි අද..... 
ඇයට සරණක් අවැසි වී ඇත.......
නුඹේ සිත තෙත් වෙනා තරමට.....
 වියැලේවි ඇගෙ නෙත පිරූ තෙත......!!




Friday, July 20, 2012

~~~~.....මගේ සිතයි කඳුළු කැටයි.....~~~~


මේ මගේ සිත මුමුණන හඬයි...........,

සිඳු රළ පෙළ ඇවිත් මකන පා සටහන් වගෙ හරියට...
නුඹේ සිතත් මා අමතක කලා නේද හරි විගහට....
ඒත් ඉතින් අසරණ මගෙ ගල් සිත කෙටු අකුර ලෙසට....
නුඹ ගැන ඇති මතක පොකුර මකන්න බැරි හැටි ඇත්තට...




කඳුළු පොදි පිටින් ගැලුවා - දෝරෙ ගලන වැස්ස වගේ...
කඳුල මැද සිනා මැවුනා - වැහි මැද දේදුන්න වගේ..
කඳුළැලි වියැලේවි හෙමින් - මහ වැහි පායනා ලෙසේ....
නාඬා ඉතින් හිනා වෙයන් - සුපිපුණු සුදු නෙළුම් මලේ...!!!



මගේ කඳුලු වලට, කතා කල හැකි නම්...
                                          කියාවී මෙසේ....,


නුඹේ සිනාවට අදරැති - අරුමැති සිත හමුවන තුරු.....
කල්ප කලක් වුව ඉන්නම් - නුඹෙ නෙත ලඟ මං නිරතුරු...
උණු කඳුලට සමු දීලා- සතුටු කඳුල වී දිවි තුරු....
"ඔහු" තැළි පළඳවන දිනේ සතුටින් සරසමි යුග නෙතු....!!!!



Wednesday, July 11, 2012

~~~~~~~~~~නිවෙන්නට හැකි නම්~~~~~~~~~~


බැඳෙන හැම බැඳුම ම ලිහෙන විට-ඇලෙන අරමුණු නැතිව යද්දිත්
ලඟින් සිටි අයවලුන් නික්මී-නොපෙනෙනා ඈතට ඇදෙද්දිත්
වෙනස් නොවෙනා එකම දේ-වෙනසමයි බව වැටහී තියෙද්දිත්
ඇයිද මං තව තවම හිඳිමින්-සසර මඟ කෙටි කර නොගන්නේ

මේ තරම් මට කළකිරෙන්නට- කාරණා අපමණ තියෙද්දිත්
ලෝ සතම දුක'ඳුර නිවූ දම්- අමා රස හොඳහැටි දනිද්දිත්
සෑම දේ අවසන විඳින්නට -උරුම දුකමයි, එය හැඟෙද්දිත්
ඇයිද මං තව මගේ කුණු කය- මෙහිම හොවමින් දුක් විඳින්නේ

අනඳ හිමියන් අෂ්ට ගරු දම් -සමග වැඳ අවසර පතද්දිත්
මෙහෙණි සස්නට ගෝතමී- උතුමියන් වෙත අවසර ලැබෙද්දිත්
විශාකාවන්, පටාචාරා- නිවන් මාවත වෙත ඇදෙද්දිත්
ඇයිද මං තව මෙහිම කල්මරමින්- තවත් හිඳ පසු තැවෙන්නේ

නිදහසක් ලබනා ඇසිල්ලෙහි- යදම් බිඳ දා ඉගිලිලා යමි
කිසිදු බැඳුමක වියෝ දුක් ගී- නෑසෙනා ඈතකට දිව යමි
නිසල වූ සිත සසල කරනට සමත්- කිසිවක් රැගෙන නොම යමි
කටුක දුක් ගිරි දුර්ග මඟ හැර- නිවන් මාවත පසක් කරගමි !!








Monday, July 9, 2012

~~~~~....සිත නිවාලන සෙනෙහසක් දුටුවෙමි.....~~~~~~


මවක සේ නුඹ පුදන....අනන්ත වු සෙනේහය
සිතේ ගැඹුරුම තැනෙක....නිදන් කර තබා ගෙන
පියෙකු සේ නුඹ රකින....සතුට කඳුලැලි දරන
ඔහුගේ සිතේ.....
 සුපහන් බව හැඟෙනා විට පවා......
නිවේ මා සිත නිවේ.........!!!!!




තරවටුද ඉවසා ගෙන....ආදරය බිඳක් වත් අඩු නොකර
දයාවෙන් හදවත පුරෝගෙන.....ඉවසුමෙන් සැනසුමද විඳ ගෙන
ආදරය හරි සීරුවට........ වර්ණ ගන්වා සියුම් ලෙස
සිතුවමට නඟනා නුඹ....
ඇස ගැටෙනා දසුනින් පවා......
නිවේ මා සිත නිවේ.........!!!!!




දිවි මඟේ දුක් ගැහැට....නේක සතුටින් දරාගෙන
උනු'න් වෙනුවෙන් දිවිය..... සදහටම පුදා ගෙන
අහිංසක සිත් දෙකේ.... පැතුම් පොදි දරා ගෙන
සන්තොසින් බබළනා..... හිනැහෙනා ඇස් හතර
අනාගත සුබ සිහින...... වෙතට නිති යොමා ගෙන


උතුරනා සෙනෙහසම..... ජිවිතය කරගත් 
නුඹ දෙපළ.........!!!

දකින හැම වාරෙදිම...... 
සත්තමයි නිවී සැනහී යයි...... 
මගේ සිත් මඬල..........!!!!!!



පසු වදන: මං ලඟින් ඇසුරු කරන දෙපළක ගේ ලස්සන ආදර කථාවක අපූර්වත්වය තමා මේ පද පෙළට නිමිත්ත වුනේ.....
ඇත්තටම සිත නිවාලන, ආදරය කියන වදනටත් ආදරය කරන්න හිතෙන තරමටම සුන්දරත්වයක් ඒ දෙදෙනාගේ ආදර අන්දරය ඇතුළේ සැඟවිලා තියෙනවා......
ඉතින්,
ඒ සුන්දර ආදරය තව තවත් සුන්දරව දිලේවා කියලා හදවතින්ම පතන ගමන්ම මේ පද වැල් ගෙත්තම තිළිණයක් ලෙසින් පුදන්නම් මෙසේ.....!!!!