නුඹෙ මුව අග මා පෙවු ලේ කිරි සුසුවඳ රැඳෙන තුරුම....
රහමෙර බිඳකට එ සුවඳ නුඹ පාවා නොදෙන අරුම..
විඳිමි සොඳින්.. නුඹෙ දස්කම් මගෙ නම බබලවපු මහිම...
මං දන්නවා මයෙ "පොඩි පුතු" මට ඇති ආදරයෙ තරම...!!
අයියාටත් වඩා නුඹේ ගත හා සිත හරි සවිමත්....
තාත්තටයි මටයි ඉතින් ඒ හැර කොහි වෙන සතුටක්....
අපි දෙන්නා බැණ වැදුනත් ලොකුවට ගෙන පොඩි වරදත්...
නුඹට තිබුනු ආදරයයි ගැලුවෙ පුරා හැම වදනක්....!!!
සතෙන් සතේ උපයන්නට නුඹ හෙලනා දා බිඳු පොද....
දකිනා හැම මොහොතකදිම කඳුළු රැඳෙයි මගෙ නෙතු අග....
මුල් පඩි පත ගත්තු එදින නුඹ දුන් සාරියේ සුවඳ...
තනිය මකයි නුඹ නැති දිනයක් ඉඳ හිට ලබන විටෙක.....!!!!
අපෙ "පොඩි පුතු" තාත්තටයි අම්මාටයි වටින තරම්....
කියාගන්න ඇමිණූවත් වදන් පමණ නොවේ ඉතින්...
සංසාරේ මේ නැවතුම නුඹ වන් තිලිණයක් අරන්....
පුද දුන් දින දැනුනි සිතට කෙතරම් පින් කලාද මං...!!!!!
මගේ අතින් අනා කවන බත් පිඬු රස සිහිවන'යුරු.....
දැනී ඉතින් නාඬ ඉඳින් අම්ම තරහ නෑ.. මා පුතු.....
සිනා සපිරි මුව මඬලින් "අම්මා" කියා අමතන තුරු.....
මඟ බලාන මං ඉන්නම් මගෙ "පොඩි පුතු"යළි එන තුරු.....!!!!!!!!!
පසු වදන :-
ඇත්තටම මේ කවි පෙල ගෙතුණේ මගෙ නෙත ගැටුණු සොඳුරු නිර්මාණයකට පිළිතුරක් විදියට.....
මෑත දවසක මම මගේ හිතවත් "ශයංග අශාන්" සොයුරාගේ "ශයංග ගේ ප්‍රාන්තය" බ්ලොග් අඩවියේ
"අසන් අම්මේ " යන මැයින් ගෙතුණු අපූරු සුන්දර පදවැල දුටුවා.එය දුටු මගේ සිතට නැඟුනු සිතුවිල්ල මේ ලෙසින් මං අකුරු කළා......
ශයංග සොයුරාගේ නිර්මාණයෙන් ඔබ්බට යමින් මා මගේ නිර්මාණය තුලින් මතු කරන්නට උත්සහ දැරුවේ දරුවෙකු මුරණ්ඩු වී අම්මා සමඟ හිත් නොහොඳ වී නිවසින් බැහැර වී ගොසින් ඇති මොහොතකදී...පුතු නැවත නිවසට පැමිණෙන තුරු නෙතු දල්වා බලා හිඳිනා මවගේ සිතේ කැටිවී ඇති වේදනාවයි...සන්තාපයයි.......!!!!