Pages

Saturday, January 12, 2013

~~~~ම්ලේච්ඡයන්, මිනිසුන් හා දෙවියන්~~~~


ජනවාරි 12 වෙනිදා, අදට "මා හද අසපුව"ට අවුරුද්දක් සම්පූර්ණ වෙන්න නියමිතව තිබුණා. 2012.01.12 තමා මා හද අසපුවට මං අත්පොත් තිබ්බේ.
ඒත්, අවුරුද්දක් සම්පූර්ණ වෙන්නත් කලින් ම "මා හද අසපුව" මියැදුණා.
2012.12.06 වැනිදා එය ඔබෙන් සමු ගත්තා ඔබට මතක ඇති.

මෙතැන් සිට එය "ඉමාගේ සිතුවිලි" ලෙසින් කළ එළි බහීවි. ඒක වුණේ මෙහෙමයි.

"මා හද අසපුව" සදහටම වසා දමන්නට මං ගත් තීරණයෙන් පස්සේ විවිධ අය ඒ සම්බන්ධ විවිධ මත පළ කළා. සද්දන්ත බ්ලොග් අඩවි මැද පුංචිම පුංචි  තිතක් වගේ ඉන්න මගේ පුංචි බ්ලොග් අඩවිය සාගරයක් වගේ පුළුල් බ්ලොග් අවකාශයෙන් සමු ගත්තම ඒ පුංචි තිත නැති අඩුව දැනුණ පිරිසකුත් මං වටා සිටිය බව නිහතමානී සතුටකින් කියන්න කැමතියි.ඒ අතර සිටි එක්තරා බ්ලොග් අඩවියක දැවැන්තයෙක් අවසානයේ මට කරපු දැඩි ඉල්ලීමක් මත අද ඒ කියන්නේ මා හද අසපුව වසරක් සම්පූර්ණ කරන්න නියමිතව හිටපු දවසේ ලිපියක් ලියන්නට මං පොරොන්දු වුණා. ඒ පොරොන්දුව මං අද ඉෂ්ට කළා.

ඇත්තටම මං ළඟින්ම ඉඳලා මාව ධෛර්යමත් කරපු හැමෝටම ගොඩක් පින්. මිනිසුන් අතර නුඹලා දෙවියන් වගේ. අපි මිනිස්සු විදියට ජීවිතේ රඟපාන චරිත අතර මිනිසුන් ම තමා දෙවියන් වන්නේ ත්, ම්ලේච්ඡයන් වන්නේත් එක එක අවස්ථා වලදී. කාලයක් දේවතාවුන් විදියට පෙනී සිටි මිනිසුන් බලා ඉද්දිම ම්ලේච්ඡයෝ වෙද්දි,  සමහරු මිනිස්සු පොළොවෙ පය ගහලා ඔළුව කෙළින් තියා ගෙන ඉන්න අවැසි ධෛර්යය ශක්තිය නොඅඩුව ලබා දෙමින් අවශ්‍ය වෙලේදි මං ළඟ හිටියා. ඒ අයගෙනුත් හැමදාකම වගේ හිතේ තිබුණ පුංචි හරි දුක අඳුනගෙන හැමදාම මගේ හිත සැනසෙන්න වචනයක් හරි කියපු දෙවිවරු වගේ මිනිසුන් සුළු පිරිසක් හිටියා.

මිලේච්ඡයන් කා... 
සී සී කඩ විසිරුවා.....
ඉරා හම ගැසූ සිත....
පරිස්සමට ගෙන....
දූලි පිසදා....
තුවාල පැසවූ තැන් ඔසුවෙන් පොඟවා...
සුව කරන්නට හැකි පමණ වෙර වීරිය දැරූ....
නුඹ වන් මිනිසුන් නොසිටියා නම්.....
මා මෙළොව හැර ගොස් බොහෝ කල් ය.......
 




මිලේච්ඡයෝ මිලේච්ඡයෝමයි.මං පුංචි කතාවක් කියන්නම්.අප්‍රිකාවේ නයිල් ගංගාවට ආසන්නයේ ඝන වනාන්තරයක එක්තරා ගෝත්‍රික විශේෂයක් ඉන්නවා.ඔවුන්ගේ ප්‍රියතම ආහාරය තමයි මිනිසුන්ගේ "හදවත".ඒ අවට සංචාරය සඳහා යන සංචාරකයෙක් ඔවුන්ගේ අඩවියට පිවිසුණොත් ඔවුන් කරන්නේ ඒ මිනිසාව අල්ලගෙන අඩපණ කරල අමු අමුවේම ඒ මිනිසාව දෙකට ඉරනවා හදවත ගලවගන්න.හදවත ගලවගෙන ඔවුන් එතනදීම රස කර කර අනුභව කරනවලු.මේ කවිය ලියද්දී මට ඒ දර්ශණය මොහොතකට හිතේ ඇඳිලා නොපෙනී ගියා.

අපි අතර ඉන්න සමහර මිනිස්සු ඒ ගෝත්‍රිකයින් වගේ අමු අමුවෙ හදවත කියන වස්තුව උගුල්ලා ගන්නවා මදිවට ඒ ගෝත්‍රිකයන්ටත් වඩා බොහොම දරුණු විදියට හදවත තළු මරමින් කන්න දන්නව.එතකොට ඇත්තටම උන්ට අහුවෙන අහිංසක මිනිස්සු  එක පාර මැරෙන්නේ නෑ,සිය දහස් වර ඒ වෙදනාව නිසා මැරි මැරි උපදිනවා. සංසන්දනාත්මකව එහෙම බලද්දි,වඩාත් දරුණු ඒ ගෝත්‍රික විශේෂය නෙවේ,අපි අතරම ඉන්න සමහර මිනිස්සුමයි.ඒක එහෙම වෙන්න තවත් හෙතුවක් තියෙනවා.ඒ ගෝත්‍රිකයෝ හදවත උගුල්ලා ගත්තට පස්සෙ මලකඳට වද දෙන්නේ නෑ. ඒ වගේම මරණයට පත් වුණ ඒ මිනිසාටත් වේදනාව දැනෙන්නේ හදවත උගුල්ලාගත් ඒ මොහොතට පමණයි.ඒත්,මං අර කීව "සමහර"මිනිස්සු හදවත කන්නේ ඔවුන්ට හසුවන අයවලුන් ජීවත්වෙලා සිටිද්දීමයි.කාපු හදවතේ ලේ විසිරෙද්දි ඒ පණ ඇද ඇද වේදනාවෙන් මිරිකෙන ඒ අසරණ ජීවිතේටත් පයින් ගහලා පාගලා දාලා අන්තිමට උන් පලා යනවා...

ඒත්...
කවදා හරි දවසක ඒ ම්ලේච්ඡයෝ විඳවාවි, සොබාදහම ඔවුන් පිළිබඳ තීරණයක් ගනීවි. දෙවිවරුන් වන් මිනිසුන් මෙලොව ජීවත් වන්නට අවැසි හුස්ම පොදට ආදරය කරන්නට වත් අපව පොළඹාවි. ම්ලේච්ඡයන්ගෙන් කරුණාව දයාව බලාපොරොත්තු වන්නට එපා. දෙවිවරු වන් මිනිසුන් හඳුනාගෙන ජීවිතය විඳවන්නේ නැතිව විඳින්න. මං ඉගෙන ගත්තු ලොකුම පාඩම එයයි.

ඉතින් ජීවිතයේ ස්වභාවය ඒකයි. කවුරුවත් කාත් එක්කවත් තරහ මරහ ඇති කරගෙන හිත් බර කරගෙන ජීවත් වෙන්න ඕනි නෑ. ජීවත් වෙලා ඉන්න කෙටි කාලය ඇතුළත හිත නිරවුල්ව තියාගෙන ජීවත් වීමයි වැදගත්. කාටවත් වෛර කරමින්, පැසවමින්, සතුරන් වැඩි කරගනිමින් නිවනට දුර වෙන්න එපා. මං ඉල්ලන්නේ එච්චරයි....



Thursday, December 6, 2012

~~~~~~~.....ඔබෙන් සමුගනිමි.....~~~~~~~



"මා හද අසපුව" ඔබෙන් සමු ගන්නට තීරණය කර ඇති වග කණගාටුවෙන් වුවද දැනුම් දීමට කැමැත්තෙමි....

තවම මාස 11ක් පමණක් වයසැති මේ පුංචි ළදැරිය ඒ කෙටි කාල සීමාව තුල 2300කට ආසන්න හදවත් තුලට සමීපව ඒ සිත් වලට සිහිලසක් වූ බැව් දකිද්දී සිතට දැනෙන්නේ නිහතමානී ආඩම්බරයකි.

එපමණක් නොව,ආදරණීය වූත් සොඳුරු වූත් සිත් 19ක සෙවණෙහි රැඳෙමින් ඔවුන්ගේ වටිනා අදහසින් පන්නරය ලද මාගේ පද වැල් අගයමින්, එහි ගුණ දොස් පෙන්වාලමින් මා සවිමත් කල ඔබ සැමට මාගේ හද පිරි අවංක ස්තූතිය පුද කර සිටිමි.


" මා හද අසපුව " ඔබෙන් නික්මෙන්නට මොහොතකට පෙරාතුව, ඇය සතු යුතුකමක් ඉටු කල යුතුව ඇත.

" මා හද අසපුව " සැබැවින්ම මෙලොව එළිය දුටුවේ 2012.01.12 දා වුවද මාගේම කියා පැදි නිර්මාණ එළි දැක්වීමට බ්ලොග් අවකාශයට එක් වීම සඳහා අත් පොත් තබන්නට කරුණු කාරණා යෙදුණේ හරියටම මින් වසරකට ඉහතදීය.ඒ 2012.12.06 දා ය.බ්ලොග් අවකාශය මට සුපුරුදු කල ඒ සොඳුරු මිතුරාණන් මේ අවස්ථාවේදී සිහිපත් කරනුයේ කළගුණ සැලකීමක් වශයෙනි...


"මා හද අසපුව" සැබැවින්ම "මා"ගේ "හද"වතේ ගැඹුරුම තැන් ස්පර්ශ කල සංවේදී අවස්ථාවන් එක් "අසපුව"කට ගොණු කල,මා බෙහෙවින් ආදරය කල වටිනා වස්තුවක් ලෙස පවසනු කැමැත්තෙමි....  


ඉතින් මා පසුපසින් හිඳ මට නිබඳ දිරි සවි ලබා දුන්....

ශයංග, ඩිසංකා, හංස,ලක්මිණී, රවින්,ළහිරු,නුවන්, කැලුම් අය්යා, වර්ණා, ආශා, ප්‍රාර්ථනා, ශෂී, හසිත, පැතුම්, නාකියා, හිරූ, චාන්දි නැන්දා, ගයනි අක්කා,සුරේෂ් මල්ලී ඇතුළු සැමටත්, 
මාගේ නිර්මාණ මූණු පොත හරහා රස විඳ වදනකින් හෝ මා දිරි ගැන්වූ සැමටත් අනේක වාරයක් ස්තූතියි....

සහසක් බ්ලොග් පිටු සැරිසරන මේ සුවිසල් අවකාශය තුළ මාගේ මේ සමු ගැන්ම ඔබට නොතරම් වනු ඇත......

එහෙත්,
මාහට නම්,
ඔබ සැම නැති අඩුව.... 
සෑමදා නොවෙනස්ව දැනෙනු ඇත...

ඉතින් සමු ගනිමි....!!!!

ඔබ සැමට තෙරුවන් සරණයි...!!! 


Thursday, October 18, 2012

~~~~....නුඹේම වී ඉපදීලා... ඉන්නට ඇත්නම් නුඹ ලඟ....~~~~


සඳ පෑයූ රාත්‍රියක...

පුන් සඳ දෙස නෙතු යොමාන....

නුඹෙ උරහිස හිස තියාන..

ඉන්නට ඇත්නම් මා හට....


නුඹෙ හුස්මට තුරුලු වෙලා....

හැම කඳුලම අමතක කර....

අත් පටලන් නුඹ හා දුර.... 

යන්නට ඇත්නම් මා හට....


කිසිම දාක අයැදුම් රිසි..

නොවන මගේ පුංචි හිතම...

නුඹ පතාන සිටිනා වග... 

කියන්ට ඇත්නම් මා හට.....



මේ බවයෙදි මඟ හැරුනොත්.. 

සසර මඟක කෙදිනක හෝ... 

නුඹේම වී ඉපදීලා... 

ඉන්නට ඇත්නම් නුඹ ලඟ....

Wednesday, October 10, 2012

.......අනේ ආයිත් එන්න අපට පාළුයි ගොඩක්........


පස් මිටට වැසී නුඹ නොපෙනිලා යන තුරුම...
බලා උන්නෙමි දුරින් එක මිටට ගෙන මතක...
දල්වාපු පහන් සිල වියළි පවනට මුසු ව...
නිවෙන විට කෙඳිරුවෙත් අනියතම බව නොවෙද...?

නිහඬවම සිනා පිරි මුවින් නිති ළඟ රැඳුන..
මතක ඇත නුඹෙ වදන් සවන රැඳි හැම දිනම..
නොකියාම යන්ට පෙර එක වරක් පෙර ලෙසම...
හිනාවක් පුදන්නට අමතක කලේ කිමද...?



නුඹ නො එන ලෙස ගියැයි  දුටුව නෙත තෙත් වුණා..
ළඟින් සිටියේ නැතත් අතීතය සිහි වුණා...
නුඹ දකිනු රිසින් මා දෙපා යුග එසවුණා..
පුංචි යෙහෙළිය මහී මවු තුරුළෙ සැතපුණා..

ළඟම හිඳ වෙන්වුනත් තියා කඳුලැලි බිඳක්...
වසර ගණනක් නොදැක ගියත් නොපෙනෙන දුරක්...
දැනෙන දුක එකයි එය හිතට දැනුණා හුඟක්...
අනේ ආයිත් එන්න අපට පාළුයි ගොඩක්...!!!!!!!


ඇය රමාධා ගිහාරි ගමගේ.....මගේ පාසලේ මිතුරියක්, පසු ගිය ඔක්තෝබර් 06 වැනිදා, සෙනසුරාදා,ඇතිවුණු හදිසි අසනීප තත්වය උග්‍ර වීම හේතුවෙන් ඇය සදහටම අපෙන් සමු ගත්තා.ඇය වෙනුවෙන් කරන්න පුලුවන් ලොකුම දේ වුණේ අවසාන වතාවට ඇයව බලන්න යාම විතරමයි...
රමාධා,  අනුලා විද්‍යාලයේ 2007 අපේ කණ්ඩායමේ හිටපු පුංචිම සහෝදරිය...හරිම නිහඬ චරිතයක්...හිනා වෙලාම තමා ඉන්නෙ ගොඩක් වෙලාවට....ඇයව මට ගොඩාක් සමීපව ඇසුරු කරන්න අවස්ථාවක් ලැබුනෙ නෑ..ඒ වුණත් ඇය මාත් එක්ක බෙදා හදා ගෙන තිබුණු වචන කීපය උනත් මේ වගේ මොහොතක මොන තරම් මතකයක් ඉතිරි කරලා යනවද කියල හිතුණා.....

ඉතින් ඔබ වෙනුවෙනුයි මේ පබැඳුම.....
දයාබර යෙහෙළියේ...ඔබට නිවන් සුව ලැබේවා....'!!!!!

යළි කවදාවත්...
හමු නොවෙනා බව....
මඳ පවනත් හිස අතගා කීවද...
අදහා ගන්නට...
නොහැකිය කිසි විට....
ඇය යළි නො එතැයි ගිම්හානෙට පෙර.....

(ඡායාරූප අයිතිය : සඳුනි විලාශා සෙන්දනායක සොයුරිය)

Wednesday, October 3, 2012

සසර මතු මතු හිත නිවෙන තුරු ආදරේ නුඹටයි දෙවින්දූ....





ආදරෙයි මං නුඹට මෙතෙකැයි කියා ගන්නත් බැරි තරම්...
නුඹේ උරහිස තරම් සිහිළස සුවය වෙනතක නැති තරම්...
ඔය නුවන් තුළ මා දකින්නට අනේ මා පින් කල තරම්...
හැඟෙන විට ඔය සිත මගෙම බව සිතෙයි ඉගිලෙන්නට තරම්...


උදා වී සුපහන්ව මා හද පුබුදු කල ආදර දිනින්දූ...
රකිමි නුඹ මගෙ පණට නොදෙවෙනි වටින තව කවුරුත් කොයින්දෝ...
මගෙ පුංචි ලෝකයෙ අඳුර බිඳ මගෙම වී හිනැහෙන තරින්දූ..
සසර මතු මතු හිත නිවෙන තුරු ආදරේ නුඹටයි දෙවින්දූ.....

නුඹ දකින්නට පොපියනා නෙත පියන්නට මේ රෑ සිතක් නැත...
රන් රුවක් සේ මැවෙන නුඹෙ වත මහමෙරක් සේ මට වටිනු ඇත...
බලා ඉන්නම් කල්පයක් වුව සහස් සුවහස් පැතුම් පොදි බැඳ....
නුඹ දකින තත්පරය වුව සත්තමයි මා සිත නිවාලනු ඇත.......!!!

Sunday, September 9, 2012

බලාපොරොත්තුව දෝත දරා මඟ බලා හිඳී ඔබ එනතුරා....!!!!!!


නොපෙනෙනා දුර හිඳන් හිනැහෙන නුඹේ නෙතු යුග දෙස බලා....
හෙට දවස ගැන සොඳුරු පැතුමන් කප්පරක් සිත තුළ දරා.....
ජීවිතේ නුඹ නමින් ලියැවෙන නව පිටක අත පොත් තියා.......
නුඹව දුටු මුල් දිනේ මා වෙත පෑව මදහස සිහි කලා.......!!!!!

මුකුලිතව මැලවුණු සිනා මල් නුඹ නිසා විකසිත වෙලා.....
හිරු මැදින් පිබිදෙනා හැම දින නැවුම් අරුතින් බර වෙලා........
මියෙන්නට ගිය ජීවිතයකට පණ දුන්නු මහිමය බලා........
මුළු හදින් මා නුඹට කැප වෙමි ආදරෙයි නුඹ හට සදා.....!!!!

පුංචි තරු කැටය නුඹ මගේ ලොව එළිය කල.....
පුංචි මල් කැකුළ වී මගෙ දිවිය සුවඳ කල....
මමයි දඟකාරි නුඹෙ උණුහුමට ලෝබ කල....
එනතුරා මඟ බලමි ආදරය තුරුළු කර.............!!!!!!!

ජීවිතේ මා දුටුව සොඳුරු සිහිනයයි නුඹ....
වියැලුවා කඳුළු අතුරා සිහින් සිනා පොද....
පතන්නේ එකම පැතුමකි මගේ ගැහෙන හද....
මගේ වී හැමදාම හිඳිනු මැන මගේ ළඟ....!!!!

පෙනෙන නොපෙනෙන පෙනී පෙනී නොපෙනෙන....
දකින්නට නෙතු දෙක පෙරුම් පුරන නමුදු දකින මඟ ඇහිරෙන....
කවදා හෝ එක්ව ගයන්නට ලැබෙන තුරුම ඉවසා ගෙන හිඳින....
සුන්දරම ගීතයකි හදවතේ කොණකට වී නිහඬවම පබඳින.........!!!

මල්ලීට ලියූ කවි......

උපන්දිනයදා.....!!


අම්මා.........,
කිරි සුවඳත් තුරුළු කරන් සනසවමින් අපේ නෙතූ
නුඹ ඉපදුනු දා වූවා මුළු ලොව දිනු ලෙසින් තුටූ
මගෙ අ'තැඟිලි අල්ලා ගෙන වැටි වැටි ඇවිදින්න හැදූ
හුරතලේට ලඟ දැවටුණු නුඹ දැන් ලොකු වෙලා පුතූ...

අක්කා........,
 පුංචි කමට කල දඟකම් ඇස් රතු කෙරුවත් මල්ලී
තප්පරයක් බෑ හිඳුමට මගේ සෙනෙහසින් වෙන් වී
හිස අත ගා සැනසෙන්නට අක්කගෙ තුරුලට ලං වී
සංසාරේ හැම මොහොතෙම මා ලඟ හිඳපන් මල්ලී....!!!

ජීවිතයේ ගමන දුරයි නුඹට වෙහෙස දැනෙයි පුතේ
වෙහෙස නිවන්නට ඔසු වන් සෙනෙහස අඩු නැතිව තියේ
නුඹෙ ලෝකයෙ නුඹ රජවන දින මට සිහිනයක් නොවේ
ලොවම දිනා නුඹ එනතුරු මඟ බලාන හිඳිමි මලේ.......!!!!


රටක් වටී නුඹ මා හට මගේ පුංචි මල්ලියේ.....!!!!!




පුංචි කාලෙ අයියා එක්ක
හැමවෙලේම රණ්ඩු වෙලා
කඳුළු පුරෝගෙන හඬමින් මා ගාවට දුව ආවිට
හිස අතගා සැනසූ හැටි අද වාගේ මතකයි මට......

පොත් මේසේ හරි කදිමට
වෙහෙස වෙලා අස් කරලා
ගිම් නිවනා අවසරයෙන්
නුඹ දුව ඇවිදින් හනිකට
තිබුණාටත් වඩා තරම් කොළ කඩදහි විසුරවද්දි......
තරහ ගිහින් බැණ වැදුනම
දිව යන හැටි තවමත් මැවෙනවා මා හට....

පාසල් ඇරිලා හැමදින
ගෙට ගොඩවෙන්නේ අහගෙන....
අක්කේ අනේ බත් කවන්න...
පන්ති යන්න තියෙනව මට....

අපි හැමෝම එක වගේම
ආදරේ බව දන්න නිසා
දඟ වැඩ කරනා නුඹ හට
ඉඳහිට බැන්නත් අම්මා......
නුඹේ පුංචි ඔය දඟකම
අපේ පාළුව නැති කළ වග
අපේ නිවසම එළි කළ වග
මට සිහි වෙයි හැම මොහොතෙම..........

කාලය ගතවෙලා හෙමින්
නුඹ කොච්චර ලොකු වෙලාද
ඒත් නුඹෙ අක්කට නම්
නුඹ පුංචියි එදා වගෙම......

ජීවිතයම දිනා දිනෙක
"මගේ අක්කේ" කියා පෙරට
දිව එනතුරු ඇඟිලි ගනිමි
දනිමි එයයි නුඹෙත් පැතුම.....!!

මතු උපදින හැම භවයෙම
මගේ පුංචි මල්ලි වෙලා....
ඉපදීයන් මගෙ ලෝකෙට....
සුවඳ හමන මලක් වෙලා.....!!!